තෙරියුම් කෝකිලා අතිශය සුන්දර විය…

Standard

therium kokila

තෙරියුම් කෝකිලා විදීමේ හැන්දැව අතිශය සුන්දර විය
ලියන්නට හෝ කියන්නට කිසිවක් ඉතිරිනොකරම
හිතට කා වැදී ඇත .තව තත්පරයක් හෝ සදැව දිගු වූවානම්
හොද යැයි හිත කීවාය , සුබ පැතුම් හදවතින්ම ලොකු තාත්තේ .

ඕමන්තේ කඩුල්ල ලග
පිච්ච වැලකි මල් පිපිච්ච
මහත්වරුනි ,මල් නෙලන්න
ගිනි අවි බිම තබා එන්න
මේ පිපෙන්නේ මව් කිරි දැයි
ටිකක් නැවතිලා හිතන්න

(කපිල ම් ගමගේ )

සහෝදර බෝ ගස
************
මේ විසල් බෝ ගස
සඟවන කරුණු බෝමැයි
තවමත් එදා මතකය
නොමකා තබා ගත්තැයි

මළවුන් අතර බෝ වී
සැඟවී නැගී සිටියෙමි
බැතිමතුන් නොමැතිවී
පිදුම් කිසිවක් නොලබමි

බොරැල්ලේ ක්‍රෙමටොරියම
බෑ කියද්දී කෑ ගසා
අවි දැරූ අත් සියක් එක්වී
මනෝ රථයම අලු කළා

අමතකව ගිය මතක සවලින්
ඉවත ලූ සුන්බුන් ගොඩක්
වසාගෙන මතුවුණා මව්වත්
සෙනෙහෙ අරගෙන බෝ රුකක්

සියක් අත් මුල් සේ දුවා
තුරුලු කර රකිනෙමි තවත්
උතුම් පැතුමන් පණ නගා
මතුවෙනා දිනයක් නැතත්

හැමදාම වැසි වැටෙන කාලෙට
පොළොව යට සුසුමක් නැඟෙයි
කවුරු හෝ දන්නා හඳුනන
කෙනෙක් එනතුරු මඟ බලයි

දශක දෙකකට වැඩි කලක්
වැඩුණු මුත් නෑ කවුරුවත්
එකම එක පහනක් අරන් ආ
කෙනෙක් නෑ ඉල්මහ වුණත්

***කපිල එම්. ගමගේ***

Advertisements

ඇයගේ වත මඩල කෙතරම් නම් සුන්දරද…..

Standard

nanadananada 2අද ( අගෝස්ත 23 ට) යෙදෙන නන්දා මාලිණියගේ ජන්ම සංවත්සරය නිමිත්තෙනි.

අගයකළ යුතු චරිත – නන්දා මාලිනී

දිනය හරියටම මතකයේ නැතත් ඒ අසූව දශකයේ මුල් භාගයේ පාසල් නිවාඩුවක දිනයක් බවනම් ටක්කෙටම මතකය……

මම සුපුරැදු විලස පාසල් නිවාඩුව යටඳොලවත්තේ ලොකු ලොකු අම්මලාගේ නිවසේ ගතකරමින් පසුවූයෙමි. එයාර් ලංකා සමාගමේ සේවය කළ ලොකු අම්මාගේ දියණියක සිංගප්පූරැවේ සංචාරයක් නිමවා නිවසට පැමිණියේද ඒ දිනවලමය. ඇය එන විට බොහෝදේ ගෙනැවිත් තිබිණි. කුඩා මගේ රස නහර පිනවූ ටොෆී හා චොකලට්වලට අමතරව මගේ සිත තදින්ම ඇඳ බැඳ ගත් තවත් අමුත්තකුද ඇය ගෙනවිත් තිබුණාය. එය කැසට් රෙකෝඩරයක් වූ අතර එවැන්නක් මම මුලින්ම දැක්කේ එදාය. Panasonic කියා තම නාමය ඉතා ගාම්භීර අයුරින් තම ගතේ කොටාගෙන වුන් මෙම යන්ත්‍රරාජයා නිවි නිවි දැල්වෙන පුංචි විදුලි බුබූළු පෙලකින්ද සන්නද්ධ විය. කැසට් පටි වාදනය කිරීමට සහ අප කියන දේ පටිගත කිරීමේ අපූරැ හැකියාවක්ද එය සතුවිය. අප සැවොම එදා දවසම ගත කළේ එය වටකරගෙනය.

අපට එයට දමා වාදනය කිරීමට කැසට් පටියක් නොමැතිව ලත වෙමින් සිටියදී හැරදමා තිබූ ඉදිරිපස දොරින් ගෙට ඇතුළුවූ අමුත්තෙකි. මා අමුත්තෙකු යැයි සිතුවාට ඔහු අමුත්තෙකු නම් නොවීය. ඒ අප ‘ලොකු අයියා ‘ නමින් හැදින්වූ එවකට විශ්ව විද්‍යාලයේ ඉගෙනුම ලබමින් වුන් ලොකු අම්මාගේ පුතාය.

අප වටකරගෙන වුන් යන්ත්‍රය දුටු ලොකු අයියාගේ මුවටද නැගුණේ යස හිනාවකි. ඊළඟ නිමේෂයේ අයියා ඔහුගේ බෑගය තුළින් එළියට ගත් යමක් දුටු අප සැමගේම මුවවල් විවර වුණි. එය බ්‍රවූන් පේපර් බෑගයක ඔතා තිබූ කැසට් පටයක් විය. එහි කවරය මට අදටත් ගලේ කෙටුවාක් මෙන් මතකය. එහි වූයේ ‘ පහන් කන්ද’ යන්නයි.

අයියා කැසට් පටය , යන්ත්‍රයේ අදාළ පොකට්ටුවට බහා එය වාදනය කරන බොත්තම එබීය. පටය කැරකී රතු බල්බ නිවී දැල්වෙමින් වාදනයවීම ඇරඹිණි. කැසට් යන්ත්‍රයකින් මගේ ජීවිතයේ පළමුවරට ඇසුණේ ඇයගේ මධුර මනෝහර හඬයි. ගුවන්විදුලියේ උදාගී හෝ යම් සරල ගී වැඩසටහන්වල මේ හඬ ඇසී තිබුණත් මෙතරම් පැහැදිලිව එය ඇසුණේ එදාය. ඒ ‘ස්ටීරියෝ හඬ ‘ නිසා බැව් අයියා පැහැදිලිකර දුන්නේ විමතියෙන් දෑස් දල්වාගෙන වුන් මගේ අතරමංවූ විලාසය දුටු හෙයිනි.

එහි ගැයුණු ‘ පහන් කන්ද, සුළං කපොල්ලේ ‘ යන ගීතයන්හී තේරැම කුඩා මට නොතේරැනත් ඒවා යළි යළි අසමින් මම රස වින්ඳෙමි. අයියා ,මම තවත් ආශාවෙන් රස විඳි එහි අඩංගු ගීතයක්වූ ‘ බෝමැඩ වඟුරන කිරි කල දහසින්’ ගීතයේ තේරැම මට පැහැදිලි කර දුන්නේය. එදා මා පෙම් බැඳීම ඇරඹූ ඇගේ හඬට වසර තිහක් පමණ ගතවී ඇති අදටත් ඇත්තේ ඒ ආදරයමය.

වසර තිහකට පෙර එදා යටඳොලවත්තේදී මගේ හදවත සොරාගෙන එහි ලැගුම්ගත් ඒ හඬ වෙනකිසිවකූගේවත් නොව දැයේ මහා කාන්තා හඬ පෞරෂය වන නන්දා මාලණියගේම වන්නේය.

එතුමිය 1943 වසරේ නිකිණි මස 23 වෙනිදා දකුණු ලකේ අලුත්ගම ලෙව්වන්දූව ග්‍රාමයේදී නම දෙනෙකුගෙන් යුත් පවුලක මෙලොව එළිය දුටුවාය. උප්පැන්නයේ නම වූයේ මිරිහාන ආරච්චිගේ නන්දා පෙරේරා යන්නයි. එතුමිය සුනෙත් ගෝකුල මහතා සමඟ විවාහයෙන් පසුව නන්දා මාලනී ගෝකුල වූ අතර දූවරැන් දෙදෙනකුගේ මවකද වූවාය. එහෙත් එතුමිය අප හදවත් තුළ ලැගුම් ගත්තේ මේ එකදු නමකින් හෝ නොව ‘ නන්දා මාලිනී’ නමින්ම පමණි.

කුඩා අවධියේම කොළඹ කෝට්ටේ පුරවරයට පැමිණි ඈ ශ්‍රී ගුණානන්ද විද්‍යාලයේ සිප් සතර හැදෑරැවාය. පාසල් යන සමයේ සිටම ගායනයට දස්කම් පෑම නිසා ගුරැ අමරදේවයන්ගේ ඇරයුමින් ගුවන් විදුලියේ කරැණාරත්න අබේසේකර සූරීන්ගේ ළමුන් අතර ඉතාම ප්‍රචලිත වැඩසටහනක් වූ ළමා මංඩපයේ ගීත ගැයීමට වාසනාව ලැබිණි. එහිදී ඇය ගැයූ පළමු ගීතය වූයේ ‘ බුදුසාධූ’ ගීතයයි.

ඉන්පසු බී වික්ටර් පෙරේරා සංගීතවේදීයා යටතේ සංගීතය හැදෑරෑ නන්දා මාලිනිය හේවුඩ්හි වසරක අධ්‍යාපනයක්ද ලැබුවාය. 1963 දී ඉංදියාවේ ලක්නව් නුවරට ගොස් සංගීතය හැදෑරෑ ඈ නැවතත් 1984 දී එම විශ්ව විද්‍යාලයට ගොස් විශාරද උපාධියද ලබාගත්තාය.

ඇයගේ කට හඬෙහි ඇති අපේ කම එසේත් නැතිනම් පොළොවෙ පයගසා ජීවත්වන ලේමස් ඇට නහරින් සැදුණු අව්‍යාජ ජීව ගුණයට මිනිසුන් පෙම් කළහ. හඬක් නැගිය නොහැකි පීඩිත පංතියේ , දුක්විඳින ජනතාවගේ හඬ, ඇයම වූයේ එහෙයිනි.

දිනෙන් දිනම ජනතා ප්‍රසාදයට පත්වූ නන්දා මාලිනිය මුලින්ම සංගීත ප්‍රසංගයකට තම දායකත්වය සැපයූවේ 1971 දීය. ඒ පණ්ඩිත් අමරදේවයන් සමඟ එතුමන්ගේ ‘ ස්වර්ණ ආරාධනා’ ප්‍රසංගයට එක් වෙමිනි. ඉන්පසු 1973 දී ඇයගේ පළමු ඒකපුද්ගල ගීත ප්‍රසංගය ඇරඹි අතර එය අති සාර්ථකව දිවයින පුරා දර්ශන වාර 530 ක් පවත්වා 1979 දී අවසන් කෙරැණි.

1981 අගෝස්තුවේදී ඇරඹි ‘ සත්‍යයේ ගීතය’ ඒකපුද්ගල ප්‍රසංගය නන්දා මාලිණියගේ කුටප්‍රාප්තිය විය. මහාචාර්‍ය සුනිල් ආරියරත්න , නන්දා සුසංයෝගය ලක් ඉතාහාස සංගීත වංශ කථාවේ නව පිටුවක් පෙරළීය. මෙම ගීතවල තනු නිර්මාණය කළ ආචාර්‍ය රෝහණ වීරසිංහයන් හා එච් එම් ජයවර්ධනයන් ප්‍රමුඛ සංගීතවේදීන් මෙම පිටුව තව තවත් වර්ණවත් කළහ. එවකට ජනතාවගේ හද ගැහෙනා රාවය කොටින්ම මුළු දිවියම ‘ සත්‍යයේ ගීතයේ’ දැහැන්ගත විය.

එහෙත් ලංකා ඉතිහාසය කලු පැල්ලම්වලින් සැරසූ කාලකන්නී අඳුරැ යුගයේ ආරම්භය සනිටුහන් කළ වකවානුවද මෙයම වීම අප සැමගේම නොලැබීමය. ඒ යුගයේ අවාසනාවන්තම දරැකැලවූ අප , අපගේ යෞවනයේ දොරකඩ අබියස සිරවී සිටි කාලයයි. කෙසේ හෝ දුක් කඳුළු මැදින් දර්ශන වාර 500 ක් ගැයුණු සත්‍යයේ ගීතය 1984 අගෝස්තුවේදී අවසන් වුණි.

ඉන්පසු එළැඹුණේ මරණයේ අඳුරැ සෙවනැලි හැම කෙනෙකු පිටුපසම පතිතවී තිබූ ජීවිතය තඹ සතයක් තරම් වත් මායිම් නොකෙරෑ , නීතිය වල්වැඳුණු ඒ මූසල භයංකර යුගයයි. විදුලි කම්බි කඩා නගර හා ගම් අඳුරේ ගිලී තිබූ පාළු සීතල රාත්‍රී කාලවල අසල ගෙදරක බල්ලකුගේ උඩුබිරීම මරණයට අත වැනීමක් සේ අපට හැඟුණි. දැන් දැන් සපත්තු අඩි සද්ධයක හඬ ඇසේදෝයී නොනිදා පහන් කළ අපේ හදවත් ගැහෙන හඬට පවා අපම බිය වූ ඒ කාලකන්නී යුගයේත් ඈ නොබියව ඒ අසාධාරණයට එරෙහිව සිය කට හඬ අවදි කළාය.

මහාචාර්‍ය සුනිල් ආරියරත්නයන්ගේ පන්හිදෙන් ගලා ආවේ මරණය තුරැලුකරගෙන වුන් යෞවනයේ සුසුම් පොදයි. ඇය ගීයක් කොට ගැයුවේ අපේ අදෝනාවයි. 1987 එතුමියගේ සංගීත ප්‍රසංගය ‘ පවන’ බිහිවුයේ මේ වාතාවරණ මධ්‍යයේය. මරණයේ සීතල බය තුළින් එම ප්‍රසංගය මාස 18 ක් තිස්සේ වාර 205 පෙන්වීමට සමත්වූවාය. එවකට ‘ සත්‍යයේ ගීතය’ හා ‘ පවන’ කැසට් පටයක් ළඟ තබා ගැනීම පවා පොලීසියට දක්කාගෙන යාමේ හෝ ටයර් සෑයක අවසන් ගමන් යෑමට පවා හේතුවිය හැකි තරම්වූ වරඳක් විය. එවන් යුගයක පවා ඇය අප වෙනුවෙන් ගැයුවාය.

ඒ අවාසනාවන්ත යුගයෙන් වසර 22 කට පසු එතුමිය 2010 දී ‘ ශ්වේත රාත්‍රිය’ නමින් ගීත ප්‍රසංගයක් පැවැත්වූවාය.

එදා මෙදා තුර ගායිකාවක, සංගීත අධ්‍යක්ෂකවරියක හා විශේෂයෙන්ම තම නැණ නුවන අනාගත පරපුරට බෙදා දෙන ගුරැවරියක ලෙස එතුමිය කරන්නාවූ කාර්‍ය භාරය නම් සුළුපටු නොවේ. එමෙන්ම නැගී එන ආධුනික ගීත රචකයන්ට හා සංගීතවේදීන්ට එතුමිය ලබා දෙන පිටුවහල අතිමහත්ය. ‘ අරලිය ලන්ද’ වැනි සංගීත පට වල ගීත සියල්ලම ගැයුණේ ආධුනිකයනට අතහිත දෙන්නටය.

ගීත ප්‍රසංග මෙන්ම එතුමිය ගැයූ සරල ගී හා චිත්‍රපට ගීතද ජනතාව හදවතින්ම වැළඳ ගත්හ.

‘ පිපිණු මලේ රැව’ , කඩ මංඩියේ’ , සුදු හාමිනේ’ , ‘ ඔබයි රම්‍ය සඳ කිරණ’ හා තවත් මෙවැනි ගීත රාශියක්ම අමරණීය වන්නේ ඒ නිසාය.

එමෙන්ම සිනමා පට සඳහා ගැයූ ‘ රන් කෙන්දෙන්’, ‘ අම්මාවරැනේ’ හා ‘ මලකින් මලකට ගොස් පැණී බොන්නද’ වැනි ගීත ඇතුළු ගීත රාශියක්ම ජනතාවගේ හද සන්තානතුළ සදහටම ලැගුම්ගෙන හමාරය. සරසවි සම්මාන එකොළහකින් හා ජනාධිපති සම්මාන අටකින් එතුමිය පිදුම් ලද්දේ මේ නිසාය.

මෙතෙක් කලක් එතුමිය දැයට දායාද කළ ගීත එකතුවන් පෙළගැසූවොත් එය මෙසේ දිස් වනු ඇත.

1) පෙරදා මහ රෑ
2) පහන් කන්ද
3) සත්‍යයේ ගීතය
4) හේමන්තයේදී
5) තාරැකා ඇස්
6) පවන
7) සිංදු හෝඩිය
8) කිඳුරියකගේ විලාපය
9) මධු බඳුන්
10) තරැ
11) මල්මද බිසව්
12) සිනමා ගීතාවලෝඛනය
13) කිරිමදු වැල්
14) ලංඩනයේදී ගැයූ ගී
15) යාත්‍රා
16) හඳහාමී
17) සංඛ පද්ම
18) පෙම්බර ලංකා
19) කුංකුම පොට්ටු
20) ග්‍රැමෆෝන් ගී
21) අරලිය ලන්දට
22) මලට රේණු
23) නිලම්බරේ
24) සාරි පොඩිත්තක්
25) පිරිත් පැන්

ධවල පැහැ ඔසරියෙන් සැරසුණු විච්චූරණ විලාසිතාවෙන් තොර ඇයගේ වත මඩල කෙතරම් නම් සුන්දරද? පොළවේ පයගසා ජීවත්වන අපගේ අම්මා, සොහොයුරිය හා වැඩකරන දුක්විඳින සියලූම කාන්තා නියෝජනය ඇයම නොවේද? ඇය ගයන්නේ අපගේ හද ගැස්මයි. අපේ ජීවයයි.

ආදරණීය අම්මේ, දයාබර සොයුරියේ ඔබ තව තවත් ගයන්න. දුක් විඳින අපේ හද සනසවන්න. ඒ සඳහා අවශ්‍ය ශක්තිය හා දහිරිය ඔබට නිරතුරැවම ලැබේවා. නිරෝගීසුව අත්වේවා. අපගේ ඒකායන ප්‍රාර්ථනය එයයි.

මැතිනියනී ඔබට චිරං ජයතු!!

චන්දන ගුණසේකර- එක්සත් රාජධානිය

අගෝරා සමග පුරා දවසක්….

Standard

අගෝරා සමග පුරා දවසක්….

rathna sriඅගෝරා සංස්කෘතික කවය කෙටි කාලයක් තුළ ලන්ඩනයේ වෙසෙන ශ්‍රී ලාංකිකයින් අතර නොමැකෙන සටහනක් තැබූ සංවිධානයක්. සිනමානාත්මක අත්දැකීම්, ශ්‍රී ලාංකික සාහිත්‍ය කෘති රසවින්දනයට ඉඩකඩ සලසා දෙමින්, වඩාත් පර්යේෂණාත්මක මෙන්ම සංස්කෘතික රසවින්දන පරාසය පළල් කරලීම වෙනුවෙන් අගෝරා තැබූ උත්සාහයන් බොහෝ දෙනෙකුගේ මතකයේ රැදෙනවා නොඅනුමානයි.

 

ලන්ඩන්හි වෙසෙන ශ්‍රී ලාංකික ප්‍රජාවගේ සංස්කෘතික ජීවිතයට තවත් සුවිශේෂී අත්දැකීමක් එකතු කරන බලාපොරොත්තුවෙන් සැප්තැම්බර් මස 26 සෙනසුරාදා දවස පුරා අගෝරා කළා උළෙල පැවැත්වීමට කටයුතු මේ වනවිටත් සුදානම් වෙමින් පවතිනවා. දවසක් පුරාවටම Woodside Community Centre – Watford හිදී මෙය පැවැත්වෙනවා.

ශ්‍රී ලංකාවේ කලාව තුළ, විශේෂයෙන්ම ගීත රචනයෙහි සහ කාව්‍ය නිර්මාණයන්හි ප්‍රමුඛතමයෙකු වන රත්න ශ්‍රී විජේසිංහ මහතා අගෝරා කළා උළෙලට සහභාගී වීමට නියමිතයි. ලන්ඩන්හි වෙසෙන රත්න ශ්‍රී ගේ රසික රසිකාවියන්ට මේ අවස්ථාව කලකට පසුව උදාවන්නක්. ඔහු විසින් ගීත හා කාව්‍ය නිර්මාණ ගණනාවක් සමගින් දොඩමළු වෙනවා.

ඒකාකාරී සංස්කෘතික ඉසව් වෙනස් කරන අගෝරා විසින් කලා උළෙල වර්ණවත් කිරීමට වේදිකා නාට්‍යයක් වේදිකා ගත කිරීමට නියමිතයි. ප්‍රවීන වේදිකා නාට්‍ය අධ්‍යක්ෂ විජිත ගුණරත්න විසින් අධ්‍යක්ෂණය කළ “යුද පිටියේ සවාරිය”එදිනට වේදිකාගත කෙරෙනවා. මෙම වේදිකා නාට්‍ය ඉතාලියේ ජන රැගුම් මණ්ඩපය විසින් ඉදිරිපත් කරනු ලබන්නක්.

මීට අමතරව එදින දවස පුරා සංස්කෘතික උළෙලක්, චිත්‍ර ප්‍රදර්ශණයක්, පොත් ප්‍රදර්ශණයක් මෙන්ම තවත් සිත්ගන්නා සුළු කලා අංග ගණනාවක් පැවැත්වීමට කටයුතු සැළසුම්කොට තිබෙනවා.

 

ගෙවීයන තත්ත්පරයට පවා මිලකට යටත් ලන්ඩනයේ ශ්‍රී ලාංකිකයින්ට මේ සියළු අත්දැකීම් විදීගැනීම කිසිදු මිලක් ගෙවීමට සිදුවන්නේ නැහැ. ලාභ අපෙක්ෂාවකින් තොරව ස්වේච්ඡා සහභාගීත්වයෙන් සිදුකරන මේ කටයුත්ත සදහා අවශ්‍ය වියදම් පියවා ගැනීම වෙනුවෙන් වන අනුග්‍රාහකයින් සොයාගැනීම මේ වන විට සිදුවෙමින් පවතිනවා. පුද්ගලිකව හෝ ආයතන වශයෙන් දායකත්වය දැක්වීමට කැමති අය වෙතොත් දුරකතන ඇමතුමක් මගින් හෝ ඊමෙල් මගින් තොරතුරු විමසා දැන ගත හැකියි.

වැඩි විස්තර –  සුදත්  07913231118 

සංඛ 07588070020

සරද 07896964698

Email – agorauksl@gmail.com

දෘශ්‍ය කලාව හා තේනුවරගේ භාවිතය ….‏

Standard

thenuwara

දෘශ්‍ය කලාව හා තේනුවරගේ භාවිතය ….‏

 එංගලන්තයේ  වෙසෙන ශ්‍රී ලාංකික කලා  හා මාධ්‍ය කරුවන් පිරිසක් එකතුව   උසස්  කලා හා  සංස්කෘතික රසයක්   ලබා දීම අරමුනු කොට ගොඩ නැගුණු  අගෝරා  සංස්කෘතික කවයේ තවත් රසවත් සොඳුරු සැඳෑවක් ලන්ඩන්  නගරයට නුදුරින් ඇති  Middlesex  Sudbury Town –  Vale Farm    හිදී පසුගිය ඉරුදින ගෙවී ගියේය.    එලෙස  රසබර සැඳෑවක් වූයේ තවත්  සොඳුරු  කලා ශිල්පියෙකු හා ගෙවුණු හෝරා කිහිපයක් නිසාවෙනි.  කොළඹ  සෞන්දර්ය හා ලලිත කලා විශ්ව විද්‍යාලයේ  ජේෂ්ඨ කතිකාචාර්යවරයෙකු වන චිත්‍ර හා මූර්ති ශිල්පි චන්ද්‍ර ගුප්ත  තේනුවර සමග චිත්‍රකලාව පිලිබඳව කෙරුණු අර්තාන්විත කෙටි දේශනය පැමිනි සිටි  සැමදෙනෙකුගේම හදවත් සොඳුරු හැඟීම් ඇති කිරීමට සමත් වූයේය. චිත්‍රකලාව හා මූර්ති ශිල්පය පිලිබඳව   පර්යේෂනාත්මක කටයුත්තක්   වෙනුවෙන්  මේ දිනවල එක්සත් රාජධානියට පැමිණ සිටින චන්ද්‍ර ගුප්ත තේනුවර මහතා අගෝරා සංස්කෘතික කවයේ ආරාධනාවක් මත මෙම හමුවට පැමිණ සිටි අතර  චිත්‍රකලාව  පිලිබඳව ඔහුගේ විද්වත්  දැක්ම ඉතා සරල බසින් පැහදිලි කලේය.  දෘශ්‍ය කලාව තුළ තේනුවරගේ භාවිතය හා කාලීනව පරීණාමය වූ ආකාරයත් ඒවායෙහි දේශපාලනික  ප්‍රකාශනය , කලා නිර්මාන බිහිවීමට හේතුවූ වස්තුබීජ හමුවූ ආකාරය වැනි මාතෘකා රැසක් ඔස්සේ දේශනයට සවන් දීමට පැමිනි සිටි පිරිසට අවස්තාව  සැලසුනි.

වර්තමාන ලෝකයෙන් මනුෂ්ත්වය හා උතුම් ගුණ ධර්ම වියැකී යමින් තිබෙන මෙවැනි යුගයක කලා කරුවා සතුව ඉහල  කාර්යක් පැවරී  ඇතත් අද ඇතම් කලාකරුවන් කරනුයේ බලයේ සිටින පාලකයින් සතුටු කරන  යමක් කර මිල මුදල් හරි හම්බ කිරීම බව පැවසූ තේනුවර මහතා  පෑන හා පින්සලද මූරිතිය තුලින්ද යහපත් සමාජයක් ගොඩනැගීමේ මහඟු කාර්ය වෙනුවෙන් කැපවිය හැකි බවද  පෙන්වා දුන්නේය.   සැබෑ කලාකරුවාගේ අද දවසේ ඇති කාර්ය පිලිබඳව  ඔහු ඉතා සුපැහදිලි කතනයක් මෙහිදී ඉදිරිපත්කර සිටියේය. දේශපාලනයෙන් තොර කලාව පමණක් නොවෙයි, කිසිවක්ම  නැහැ.  යම් කලා නිර්මාණයක් හෝ වෙනත් ඕනැම දෙයක් දේශපාලනය හා සම්බන්ද   වෙලා  තියෙන්නෙ.  හැම මිනිසෙක් ම දේශපාලන සත්වයෙක්. හැම සමාජයක් ම දේශපාලනිකයි.  ඒ නිසා චිත්‍ර ශිල්පියකුට හෝ වෙනත් කිසිම කලාකරුවකුට මේකෙන් වියුක්ත වෙලා හුදකලා වෙලා ඉන්න බැහ. පාලක පංතියේ උවමනාවන් වෙනුවෙන් පෙනී  ඉන්න ගමන් එහෙම නැති බවක්  පෙන්වන්න කවුරු හරි කලා කරුවෙක් උත්සාහ ගන්නවනම් ඒක බොරුවක්.  කලාකරුවා  සිටිය යුත්තෙ  ජනතාව සමඟ කියන මතයේ  මම ඉන්නෙ.  

 වර්තමානයෙහි කලා කටයුතු සම්බන්දව ඔහුගේ  භූමිකාව සම්බන්දව සිය අදහස් ප්‍රකාශ කරසිටි   ආචාර්ය තේනුවර මහතා දිගු කලක් තිස්සේ ස්වකීය මොස්කව් නුවර අධ්‍යාපන කටයුතු හමාර කිරීමෙන් පසු 1997  පමන වෙද්දී තමන් ශ්‍රි ලංකාවට පැමිනෙන විට යුද්ධය  විසින් මිනිසුන්ගේ ජීවිත විනාශ කරමින් උතුරු – දකුණ  වෙනසකින් තොරව සමාජය පුරා බිය සංත්‍රාසය පැතිරෙමින් තිබූ බවද එහිදී  එම ජාතිවාදී යුද්ධයට විරෝධය පලකරමින්   චිත්‍රය හා මූර්තිය යෙදවූ බවද කියා සිටියේය. කොළඹ පමනක් නොව රටේ බොහෝ නගර හා ගම්වල යන එන මංමාවත්වල  බැරල් හරස් කරමින් මිනිසාගේ ගමන් බිමන් පරික්ෂාව මගින් බැරල් සංස්කෘතියක් ගොඩනැගුනු බව කියා සිටි ඔහු 1997 සිට 2005 දක්වා කාලය තුල  බැරල්වාදය නමින්  නවතම කලා මූර්තියක් ඉදිරිපත් කිරීමට සිදුවූ බවද කියා සිටියේය.   වර්තමාන සමාජයේ මිස්සු කලා කරුවො  හැටියට හඳුනගෙන ඉන්න ඇතම් අය පාලකයින්ගෙ ඕනෑ එපාකම් වෙනුවෙන්  මිල මුදලට යටවෙලා මායාව හරහා දේශපාලන අපරාධ හා  සමාජ ව්‍යසනයන් සඟවා තබන්න උත්සාහ ගනිමින් ඉන්නව.  ඒ තුලින් මිනිසාගේ මනස විකෘති කරන කලාවක් ගේන්න උත්සාහ ගන්නව.  මිනිස්සු  මෙන්න මේ මායාකාරී  සුන්දරත්වයෙන් මුලා වෙලා ඉන්නෙ. ඒ නිසා දැකිය යුතු බොහෝ දේවල් ඒ අයට පේන්නෙ නෑ.  ඒ  නොපෙනෙන යතාර්ථය  පෙන්නුම් කරන දේවල් අපි  ජනතාවාදී  කලා කරුවො හැටියට  කලයුතුව ඇතයිද ආචාර්ය චන්ද්‍ර ගුප්ත තේනුවර මහතා  සිය  දේශනයේදී වැඩිදුරටත් කියා සිටියේය. 

 

මුලින් ආරම්භකල බැරල්වාදය නම්වූ කලා නිර්මානය පසුව   නව බැරල්වාදය දක්වා පැමිණ තිබෙන බව සඳහන් කල ආචාර්ය තේනුවර  දැන් ගෙවි යනුයේ  පශ්චාත් බැරල්වාදි යුගයක් යයිද  කියා සිටි අතර  දැන් යුද්ධය අවසන්, නමුත් ඒ යුද්ධයේ ඡායාවන් තවමත් තිබෙනවා. ඒව සම්පූර්ණයෙන් ම ඉවත් වෙලා නැහැ. සැබෑ සාමයක් තවමත් ගොඩනැගිල නැහැ. සමාජයේ  බියවැද්දීම් ඒ විදියට ම සිදු වෙනවා. යුද බිමේ වෙඩි හඬවල් නැති වුනාට ඒ වෙඩි හඩ ම වෙනත් තැනකින් ඇහෙනවා.  මේ නිසා සමාජයේ ප්‍රශ්න ගණනාවක් ඇතිවෙලා තියෙනව.  ඒ නිසා මේ සියල්ල යම් දෘෂ්‍ය භාෂාවකට ගොඩනගල සාකච්ඡා  කිරීම කලා කරුවාගේ සමාජ යුතුකම වී ඇතයිද  සඳහන් කළේය.

දේශනයෙන් අනතුරුව චිත්‍රකලාවේ න්‍යායික පසුබිම හා ලංකාවේ දෘශ්‍ය කලා භාවිතය, තාක්ෂණයේ දියුණුව  වැනි විවිධ මාතෘකා ඔස්සේ විසිරුණු ප්‍රශ්න සභාවෙන් නැගුණු අතර සියල්ල මූලික කොටගත් සාකච්චාවක්ද නිර්මාණය වුණි. 

 හැම තැනම පෙනෙන්නට තිබෙන ජනප්‍රිය කලාව ඇසුරු කොට සිදුකෙරෙන කලා කටයුතුවලට වඩා යම් ආකාරයක පර්යේශනාත්මක කලා කටයුතු කෙරෙහි නැඹුරුතාවයක්,  ආදරයක් දක්වන කලා රසිකයින් පිරිසක්  අගෝරා  සංස්කෘතික කවය සූදානම් කල මෙම  සම්මන්ත්‍රනයෙදී   හමුවීමට ලැබීම කෙරෙහි සිය   සතුට හා ප්‍රසාදය පලකර සිටින බවද විශේෂයෙන්ම විදෙස් රටකදී මෙවැනි පිරිසක් හමුවීම තමන් ඉතා අගය කරන බවද   ඔහු  සඳහන් කළේය. 

පරාජිත, ඒකාකාරි, සුන්දර – ඔබ නැතුව ඔබ එක්ක….

Standard

පරාජිත, ඒකාකාරි, සුන්දර – ඔබ නැතුව ඔබ එක්ක …….

ප්‍රසන්න විතානගේ කියන්නේ කලාත්මක චිත්‍රපටි කීපයක්ම අධ්‍යක්ෂණය කල ප්‍රවීන සිනමාකරුවෙක්.  හුඟක් යුරෝපිය චිත්‍රපටි උළෙලවල ඔහු සම්මාන ලබාගෙන තිබෙනවා. ඉතින් මන් මේ කරන්නේ සිනමා විචාරයක්ම නොවුනත් පරිස්සමින් කියන දේ කියන්න වෙනවා.
චිත්‍රපටියට පාදක කරගෙන තිබෙන්නේ ෆියෝදෝර් දොස්ටයෙව්ස්කි ගේ “මුදු ප්‍රාණියා  හෝ නිහඬ ඇය  ” (The gentle creature or the meek one”) රුසියානු භාෂාවෙන් ක්‍රොත්කයා කියන කෙටි කතාව. ඉංග්‍රීසි පොත මෙතැනින් බාගන්න පුළුවන්. http://www2.hn.psu.edu/faculty/jmanis/dostoevs/gentlesp.pdf

මෙහිදී ප්‍රසන්න විතානගේ මෙම කතාව වෙනස් කරනවා ලංකාවේ පැවතුන සිවිල් යුද්ධය පාදක කරගෙන.
එකේ වරදකුත් නැහැ. නමුත් මටනම් දොස්ටයෙව්ස්කි ගේ කෙටි කතාව කියවනවිට ඇතිවුන හැඟීම් මාලාව  මේ චිත්‍රපටිය බැලුවට එන්නේ නැහැ. දොස්ටයෙව්ස්කි දර්ශනවාදියෙක්. ඔහුගේ Notes from Underground කියන නවකතාව  existentialist කියල තමා කියන්නේ. ඒකෙන් කියන්නේ දර්ශනවාදී චින්තන ක්‍රියාවලිය ඇරඹෙන්නේ සිතන මිනිසෙකු  ගෙන්ම  විතරක් නෙමේ,  රඟන, හැඟීම් සහිත ජීවත්වෙන පුද්ගලික මනුෂ්‍යයෙකුගෙන්  කියල.  http://en.wikipedia.org/wiki/Existentialism

මේ කතාවත් ඒ හා සමානයි කියල කිව්ව හැකි. මීට අමතරව දොස්ටයෙව්ස්කි, ගොගොල් යන සම්භාවනීය රුසියානු ගත්කරුවන්ගේ නිර්මාණ එවකට පැවති  රුසියානු සමාජය විශ්ලේෂණයකට බඳුන් කලා . මිනිස් සම්බන්ධතාවන්, සමාජ සම්බන්ධතාවන්, සාර් පාලනය ප්‍රබල කතිකාවකට බඳුන් කලා. කොටින්ම පසුව රුසියාවේ සිදුවුණ සමාජ විප්ලව වලට (1905, 1917) මේ නිර්මාණ බල පෑව කියලත් කිව්ව හැකි.
ඉතින් මේ කතාව කියෙව්වොත් ඒක පරාජිත ප්‍රේමවන්තයෙකුගේ  කතාවක්ම නෙමේ. මේ කතාවේ එවකට තිබූ  රුසියානු සමාජයේ කෘර බව, මිනිස් සම්බන්ධතා  වල සංකීරණ කම , දරිද්‍රතාවය , සැඟවුණු ප්‍රේමය හා ඒ හා බැඳුනු ලිංගික ප්‍රශ්නත් කතා වෙනවා. (මට හිතෙන විධිහට) .

ප්‍රසන්නට මේ සිනමා කතාව ඒ විධිහටම ගෙන යන්න ඕනේ නැහැ තමා. නමුත් මූලික කතාව පාදක කරගත්තට යුද සමය හා පශ්චාත් යුද සමය හරියට ග්‍රහණය කරලා නැහැ.  ඒ වගේම දොස්ටයෙව්ස්කි, කතා නායකයා හා හුසාර් වරයෙකු අතර , කතා නායකයා මග හැරිය  නොකළ ද්වන්ධ සටන තදබල ලෙස ඉදිරිපත් කල ආකාරයට , ප්‍රසන්න මේ  කතා නායකයාගේ  හමුදා යාලුව කල වරද (දෙමල තරුණියක්  දුෂණය කිරීම)  හා ඔහු (කථා නායකයා) එය සැඟවූ බව එතරම් ප්‍රබල අන්දමින් ඉදිරිපත් කරලත් නැහැ. (මම කියන්නේ මේ සිනමා නිර්මාණයට සාපේක්ෂව).

දැන් අපි එයාර් බස් වල (ශ්‍රී ලන්කන් , එමිරේට්ස්  ඔය කොයිකෙත් ) යන කොට චිත්‍රපටි බලන්න පුළුවන්නේ. ඒ වල දාන සිංහල චිත්‍රපටි හුඟක් බාල පන්නයේ කොමඩි නේ. අර 70 දශකයේ විජය, ගාමිණී , මාලිනි ගස් වටේ දිව්ව විධිහටම (ඒක ඒ කාලෙට කමක් නැහැ) කොහේ හරි සිතල තියන තණකොළ පළාතක නටන ඒවයි  මෝඩ ජෝක්ස් නුයි තියෙන්නේ.  ඒ තත්වයෙන් මිදෙන්න ධර්මසිරි බණ්ඩාරනායක ල වගේ අධ්‍යක්ෂකවරු (හංස විලක් හැර ) හදපු චිත්‍රපටි වල කිසියම් ඒකාකාරී බවක් රැව් දෙනවා. ඒ ගතිය මේ චිත්‍රපටියෙත් තිබෙනවා. නිද්‍රාශීලි උඩරට නගරයක තමා  කතාව යන්නේ.  ඇත්තටම  එහෙම පුංචි නගර තිබෙනවද?  පශ්චාත් යුද සමයේ ශ්‍රී ලංකාවේ කුඩා නගරයක පවා චංචල හා කලබලකාරී බවක් රැඳී තිබෙන බවයි මම දැක්කේ. මේ දීර්ඝ ඒකාකාරී ගතිය සමහර වෙලාවට කරදරයක්. චිත්‍රපටියේ මුල හරියේ කතා නායක සරත්සිරි වඳින්නේ ගණ  දෙවි පිළිරුවකට. ඊට පස්සේ එයා  වඳින්නේ බුදු පිළිමයකට. වෙනස මොකක්ද කියල වැටහෙන්නේ නැහැ. අනික කතා නායිකාව සෙල්වී  පල්ලියට යන දර්ශනය හා ඊට පසු සංවාදය චිත්‍රපටියට කෘතිමව ඔබ්බවල වගේ ගතියක් දැනෙනවා.

මේකේ පරාජිත බව තමා කතා නායිකාව සියදිවි නසා ගැනීම . වෙනත් ජාතියකගේ පිඩාවට පත්වුණු සුළු ජාතියක් ඉන් මිදෙන්න සොයා ගත්තේ සිය දිවි නසාගැනීම මගින් මහා ජාතියට දඬුවම් කිරීමේ ක්‍රමයක්‌ . එය දරුණු, පරාදීන අනුන් විනාශ කරගෙන තමන් විනාශවෙන , සමාජීය වශයෙන් නොගැලපෙන විධි ක්‍රමයක්. සමජවාදින්වත් ධනවාදින්වත් වත් ඊට වඩා  අගය කරන්නේ ජිවත් වීම. ජිවත්වි සටනට මුහුණ දෙන එක. ජිවත්වි අරගලයකට නායකත්වය දෙන එක.
කතා නායිකාවට සිය දිවි නසා ගන්නවට වඩා එහා යන්න තිබ්බා. ඒ යන පාර ප්‍රසන්නට හොයල දෙන්න තිබ්බ. එතනින් දොස්ටයෙව්ස්කි  ගේ මාවතට , දොස්ටයෙව්ස්කි  ගේ අවසානයට වඩා වෙනත් අවසානයක් ගන්න තිබ්බා .  මේකේ ලෙනින් කල පැහැදිලි කිරිමකිදී ,  අපට දකින්න පුළුවන් ගොගොල් ගෙ, දොස්තයෙව්ස්කි ගේ , ටෝල්ස්ටෝයි ගේ පරාජිත, රුසියානු සමාජයේ ඛේදාන්ත වලට , ලෙනින් ප්‍රති උත්තරයක් දෙනවා. අරගල කරපන්. ජිවිතයෙන් පලා  යන්න එපා. මේ දේ මේ විධිහට ලැබිල තියෙන්නේ අපි නිහඬව පරාජය බාර  අරගෙන බැරි වුණාම ප්‍රශ්නයෙන් පලා  යන නිසා. ගෝර්කි (අම්මා  – පාවෙල් කොර්චගින්) වෙනස් කරලා ලිව්වේ ඒක. ඔස්ත්රෝව්ස්කි (වානේ පන්නරය ලැබූ හැටි)   වෙනස් කරල ලිව්වේ ඒක.

ඒ කෙසේ වෙතත් සුන්දර , පරාජිත ආදරයක් මේ සිනමා කෘතියේ ඉස්මතු කරනවා. තරමක් දුරට බ්‍රොන්ටෙගේ වදරින් හයිට්ස් තරම්ම නොවුනත් (හිත්ක්ලිෆ් ) සුන්දර ආදරයක් වෙනුවෙන් හිත සසල කර ගත් අනාථවූ  මිනිසෙකුත්  එවැනිම අනාතවූ සුන්දර , අහිංසක යුවතියකගේත් ආදරයක ඛේදාන්තයක් චිත්‍රපටිය පුරාම දිව යනවා.  එය හදවතට කාවදින ආකාරයට ඉදිරිපත් කරන්න දොස්තයෙව්ස්කි වගේම ප්‍රසන්නත් දක්ෂ වෙනවා.
චිත්‍රපටියේ ඉවර වෙන්නේ හදවත වේදනාවෙන් බිඳින  මේ වදන් ටිකෙන්.
“මම ඔයාගේ ආදරයට බය වුනා. ඔයාට ඕන විධිහේ නෝනා කෙනෙක් වෙන්න බැරි වෙයි කියල මට හිතුන. ඔයාට බාගෙට ආදරේ කරන්න මට බැහැ. මට ඕනෙ ඔයාට මුළු හදවතින්ම ආදරේ කරන්න.”
“ඇයි ඔයා  මට මෙහෙම කලේ. ඔය තව එක පාරක්‌  හැරිලා බැලුව නම්…….. “.

අජිත් ධර්මකීර්ති

“ජොනතන් හාකර්ගේ මරණය”

Standard

මරණ මංචකය හමුවේ ශ්වසනය හා පොරබදන ජොනතන් හාකර්ගේ මරණය…..

රුවන් එම්. ජයතුංග නම් වන චෙකොෆියානු සාහිත්‍යකරුවා ස්වකීය ෆ්‍රොයිඩියා..නු සමාජ විශ්ලේෂණයන් යළි වරක් සාහිත්‍ය සමාජය හමුවේ විනිශ්චය පිණිස තබා ඇත. පරිවර්තනීය කෘතියක ධ්වනි නැංවෙන නාමයක් පෙරටුකොටගෙන ය. “ජොනතන් හාකර්ගේ මරණය” කැටුවැවිත් සිංහලෙන් ජීවිතය ලිහා පහදන ජාත්‍යන්තර වෛද්‍යවරයා සිය වෘත්තියේ සිමා මායිම් පුළුල් වීමට සමාන්තරව සාහිත්‍ය භාවිතය ද විස්තාරණය කර පෙන්වයි. එනයින් ගත් විට ඔහු සිය සාහිත්‍යයික සායනයට කැඳවන පාත්‍රයනට දේශ සීමා නැත. ඔහු, තමන් අත්දකින, අත්විඳන වටපිටාවේ වන ඕනෑම ජීවිතයකට එබී බැලීමට මැලි වන්නේ නැත. 


“රෝගියාගේ ඇඳ අසල වූ කුඩා පුටුවේ වාඩි වූ තරුණ වෛද්‍යවරයා මේසය මත වූ දුබල ලාම්පු එළියේ ආධාරය ඇතිව දිනපොත කියවීම ඇරඹීය. කැඞීගිය පිටු අතර තිබූ පළමුවන සටහන වෙත වෛද්‍යවරයාගේ අවධානය යොමු විය.”

මරණ මංචකය හමුවේ ශ්වසනය හා පොරබදන ජොනතන් හාකර්ගේ මරණය පසුබිමේ වන ජීවිතය හා මරණයට හේතු වන්නට ඇතැයි පාඨකයට සමීප කරවන නිශ්චිත සිද්ධිදාමයෙන් තෝරාගත් සිද්ධි කිහිපයක් රුවන් මෙකී දිනපොත හරහා ප්‍රබන්ධ කර පාඨක මනස කළම්ඹයි. ප්‍රබන්ධයේ එන වෛද්‍යවරයා රුවන් ම බවත්, ඔහු කියවන දිනපොත ඇත්තම දිනපොතක් බවත් මොහොතකට අනුමාන කර කතාව කියෙව්වද මේ නම් සූර වියමනකි. අනුන්ගේ දිනපොත් වලට එබීම සාහිත්‍යයික වශයෙන් වැදගත් බව ෆ්‍රොයිඩියානු විශ්ලේශකයා අපට හඟවයි. මනෝ වෛද්‍යවරයෙකු සතු විශේෂ අවසරය හේතුවෙන් අන් දිනපොතකට එබීමට රුවන් අවසර ගන්නේ නැත. 

නමුත් “සංවාදය” අරඹමින් රුවන් සම්මතයක් ඉදිරියට දමයි. 

“දෙදෙනකුගේ සංවාදයට කන්දීම ශිෂ්ට සමාජය අනමත නොකරන බව සැබවි. මම ද එම රීතියි අනුගමනය කරමි. එහෙත් එම ශුද්ධ නීතීය මා කඩකළේ මන්ද? මා පෙළූ කාන්සිය නිසාද?”

කථකයා වෛද්‍යවරයෙකු වෙතැයි නිශ්චිත නැති බැවින් ඔහු සම්මත රීතිය පිළිපදින්නට කැමැත්තකු බව රචකයා අපට මෙනෙහි කරවයි. ඒත් ඔහු අතින් ඒ ශුද්ධ නීතිය බිඳ වැටෙයි. නමුත් කතාව අවසානයේ පාඨක සිතට නැඟෙන්නේ එකී සම්මතය බිඳදැමීම සාහිත්‍යයික වශයෙන් යහපත් වන බව නොවන්නේද? බිලී සහ සැන්ඩි යන මොන්ටිසෝරි දරුවන් දෙදෙනා හරහා රචකයා අප අබියස විවරණය කරන ලෝකය අපගේ භාව ලෝකය ප්‍රකම්පනය කරවන්නේ දේශ සීමා විනිවිදිමිනි. අනවසරයෙන් මොන්ටිසෝරියෙන් එළියට බැස සිටින දරුවන් දෙදෙනා ගොඩනංවන සංවාදය මොහොතින් මොහොත සංකීර්ණ වන්නට පටන් ගනී. රුවන් අප හමුවේ තබන බටහිර ජීවිතයේ අතී සමීප රූපය මොන්ටිසෝරි ලෝකය පිළිබඳ ඇස් ඇරවයි. බලන්න! 

“නුඹ පපාට ආදරේද?” ගැහැනු ළමයා ඇසුවා ය. 

“නෑ, මම ලොකු උණාම පපාට වෙඩි තියලා මරණවා.”

“දෙවියනේ, ඒක මොන තරම් භයානකද? ඇයි නුඹ එහෙම නපුරු වැඩ කරන්නේ?”

“පපා ගෙදර ඇවිල්ලා මමාට ගැහුවා. එතකොට මම මේසේ යටට රිංගුවා. පපා මමාගේ ඔලුව බිත්තියේ හැප්පුවා. මමා අඬාගෙන බිම වැටුණා. එතකොට පපා මමාට පයින් ගැහුවා. ටීවී එක උස්සලා පොළොවේ ගැහුවා.”

“නුඹගේ පපා හරි දරුණුයි.” ගැහැණු ළමයා පැවසුයේ පිළිකුල් හඬකිනි. 

“නුඹගේ පපා හොඳද?” පිරිමි ළමයා ප‍්‍රශ්නයක් නැගී ය. 

“මම දැන් අවුරුද්දකින් විතර පපාව දැක්කේ නෑ. පපා අපේ ගෙදර එන්නේ නැහැ.” ගැහැනු ළමයා කීවේ දුක්මුසු ස්වරයෙනි. ඇයගේ දෑස් වලට කඳුළු පිරුණි. 

“නුඹ අඬන්න එපා, මම නුඹට ආදරෙයි.” කළු පිරිමි ළමයා ගැහැණු ළමයා තුරුල්කර ගත්තේ ය. ගැහැනු ළමයා පිරිමි ළමයාගේ අත තරයේ අල්ලා ගත්තා ය. “මම අපේ ජෙරල්ඞ් බාප්පා තරම් උස ගියාම නුඹව බඳිනවා.” පිරිමි ළමයා ගෑණු ළමයාගේ දෑසට එබී කිව්වේ ය. “නුඹ මාව බඳින්න කැමතියි නේද?” ඔහු ඇගෙන් ඇසුවේ දෑස් ලොකුකර ගනිමින් ය. 

ඇය පිරිමි ළමයාගේ අත ගසා දැමුවා ය. “මට බැහැ නුඹව බඳින්න. එල්සි නැන්දා දවසක් කිව්වා සුදු ගෑණු කළු මිනිස්සු බැන්දම ලැබෙන්නේ කළු පැටව් කියලා. මට ඕන රත්තරන් පාට හිසකේ තියෙන ළමයි.”

“මට පුළුවන් නුඹට රන්පාට හිසකෙස් තියෙන ළමයි දෙන්න.” මෙහිදී පිරිමි ළමයා පරාද වීමට අකැමැති හඬකින් පිළිතුරු දුන්නේ ය. 

“එහෙම නම් මම නුඹව බදින්න කැමතියි.” ඇය යළිත් පිරිමි ළමයාගේ අත අල්ලා ගත්තා ය.

“සංවාදය” විසින් අප හමුවේ තැබෙන සංවාදය වනුයේ, සාහිත්‍යයේ කොදෙව්භාවය බිඳදමන්ට කැස කවන රුවන්ගේ නිර්මාණ පරිශ්‍රමය පලදායි වන්නේ ද යන්නයි. ඔව්, එය පලදායි වන්නේ යැයි පැවසීමට මහත් ශ්‍රමයක් දැරිය යුතු නැත. ඔහු වචන ඇසුරින් මවන සාහිත්‍ය ලෝකයට පිවිසීමෙන් පමණක් වුව එය හඳුනා ගන්නට අපට පිළිවන. ඔහු වඩ වඩා නිර්ව්‍යාජව එය ස්ථානගත කරන්නට උත්සුක වන්නේ නම් එය පළල් ලෝකයකි. සාහිත්‍යය යන්න මෙසේ වියමන් වන්නේ නම් පරිවර්තන සිඟමන් යදිමින් කල්මැරිය යුතු නැති බව දේශාඨනයේ යෙදෙන චෙකොෆියානුවා අපට මෙනෙහි කරවයි. 

මේ වනාහි අතිශයින් රුවන් විසින් සිදු කෙරෙන දැනුවත් ප්‍රවේශයක් යයි මම පවසමි. ඔහු ස්වකීය දේශසීමා බිඳ දැමීමේ සාහිත්‍යයික කැරැල්ල අරඹන්නේ ඔවුන්ගේ පළමු කෙටිකතා සරණිය වූ “සැන්ට බාබරාහී යාචකයා” තුළිනි. එහිදී එනමින් ම යුතු ප්‍රබන්ධයට අමතරව “මැක්සිම් ඉවානවිච්”, “හිමවතිය”සහ “ගුප්ත ආගන්තුකයා” ඔහු අපට සම්මුඛ කරයි. පරිවර්තනීයව පමණක් පැමිණෙන පාත්‍රයන් ඔරිජිනලීය සෙයියාවන්ගෙන් අතිශයින් නිරුපද්‍රිතව සිංහල අකුරු අතරේ සැරිසරනු දැකීම විසින් මා කෙරෙහි මහත් විඳුමක් ජනනය කෙරෙයි. 

මෙකී සාහිත්‍යයික ජවයට ඉතිහාසයක් ඇත. ඔහු දිවයිනක් වූ තම ජීවිතය විශ්වයක් බව පත් කරගනු ලබන්නේ නව යෞව්වනයේ ආත්මීය ජවය ද සමඟිනි. එතැන් පටන් ඔහු ඓන්ද්‍රීයව උපන් බිම හා ගැට ගැසී සිටියද දේශසීමා රහිත සාහිත්‍යයක රුවගුණ ගවේශනයේ යෙදෙයි. එය ස්වයංසිද්ධ වන තරමටම දිග්ගැස්සෙනුයේ ඔහුට ගැටගැසෙන්නට සිදුවූ අවකාශය පුරා හිටගෙන සිටි ගැහැණුන් මිනිසුන් දේශසීමා හරහා ඇවිද යමින් සිටින්නන් වන බැවිනි. ඔහුගේ බොහෝ කතාවන්ට මූලාවේශ වනුයේ මෙකී ජීවන සන්දර්භයයි. ඔහු ජොන්තන් හාකර්ගේ මරණය කරා ළංවන විට පළමු කෘතියට වඩා වැඩි ප්‍රතිශතයකින් මෙම අලුත් සම්ප්‍රදායට ගොණු වෙමින් සිටී. ඒ අනුව කෙටි කතා 13කින් 8ක්ම “කහකුරුල්ලා” මෙන් දේශසීමා මඟහරිමින් අවකාශයේ සැරිසරයි. උණුසුම් කන්ද දැකගන්නට නම් අහම්බයකින් හෝ බඩ එළිය යා යුතු බව වෛද්‍ය රුවන් එම්. ජයතුංග උත්ප්‍රාසයෙන් යුතුව පවසයි. නොඑසේ නම් අනුන්ගේ මුව තුළ තලුමැරුණ චුයිංගම් ගුලියක් බඩේ ඇලුණු කලෙක මෙන් බඩ රුජාවෙන් ඔත්පලව මිය යා යුතුය. ඔහු සංඛේතාත්මකව ප්‍රශ්න කරන්නේ මෙකී සාහිත්‍යයික මිය යාම සිදුනොවන්නට නම් අපට කුමක් සිදුවිය යුතුද යන්න නොවේද? ඉදින් එබැවින් දේශ දේශාන්තර ජීවිත ගවේශනය ඔහු විසින් අවිච්ඡින්නව සිදු කෙරෙයි. 

ඕහෙන්රියානු පන්නයේ “පාදඩයා” තව නිදසුනෙකි. ගැටළුව ඇත්තේ භෞතික ලෝකය තුළ නොව සංකල්ප ලෝකය තුළ බව රුවන් නිමැවන පාදඩයා අපට පහදයි. දේවි කිරාන්ගේ නැතිවුණු පසුම්බිය සුරක්ෂිතව ආපසු ලැබෙන්නේ මෙතෙක් කතාව පුරා පිළිකුළ දැනවූ සංඛේතය නිසා බව අනාවරණය වීමෙන් පසු ඔවුන්ට තමන් කෙරෙහිම පිළිකුළක් දැනුනේද?මහේන්ද්‍ර සින්ග්වැන්සන්ගේ කරට අතදමාගෙන කෝපි අවන්හල කරා පිය නඟන්නේ කවර සන්දර්භයක් හරහාදැයි විග්‍රහ කර ගැනීම රුවන් අපට ඉතිරි කර තබයි. මීට අමතරව “සතුරු ඉසව්ව”, “අවන්හල” සහ “කාන්තාර කුණාටුව” ඔස්සේ ඔහු සිය සාහිත්‍යමය චාරිකාවේ අප රැගෙන යයි. මෙවන් කතා කොදෙව්ව තුළ ස්ථානගත කළ යුත්තේ කොතැනකදැයි පහදා ගැනීම සහෘදයනට බාර කළ යුතු ය. විශේෂයෙන් කාන්තාර කුණාටුව බඳු කතාවක ඇති විශ්වීය ගති ලක්ෂණ, සිංහලෙන් සාහිත්‍ය කියවන සමාජය නිවැරදි තැන ස්ථාන ගත කර ගනු ඇත. 

මා වෙසෙස් අවධාණය යොමු කළේ වෙනත් භූගෝලිය, සමාජාර්ථික හා සංස්කෘතික වටපිටාවක පුද්ගල මනෝභාවයන් රුවන් විසින් ග්‍රහනය කර ගැනෙන අයුරු පිළිබඳ මගේ සාහිත්‍යයික ආකල්පය සංක්ෂිප්තකර ලෙස පැහැදීලි කර ගැනීමට ය. මා අපේක්ෂා කරන පළමු දෑ ඒ තුළ ඇත. මගේ කැමැත්ත ය. මා ඊට කැමැතිය. මගේ කැමැත්ත නිෂ්පාදනය වනුයේ රුවන් ලේඛනගත කැරමින් සිටින සරලරේඛීයව මෙන් පෙනෙන සිද්ධීන් තුළ වන සංකීර්ණතා සැබැවින්ම අත්විඳිමින් සිටිනා බැවින් වන්නට පිළිවන. 

ඉදින් ඔහු විසින් දේශිය සංදර්භයක සිදුකෙරෙන දිගහැරුම් විග්‍රහ කර ගැනීමට ඕනෑතරම් කාලය ඉතිරිව තිබේ යැයි අවසන් වශයෙන් පවසමි

මංජුල වෙඩිවර්ධන